Home

කණට විකල්ප පාරක්

4 Comments Articles

kanata_parak_main2

ඔබ රේඩියෝ නාට්‍ය ගැන රචිත උගේ හිස ඉවරයි- 2005, නිහොන්් සැප ලැබේවා 2012 ,ෆන්සලක් යන රේඩියෝ නාට්‍යය පිටපත් අඩංගු කෘති කෘති අපි දැනන් හිටි රේඩියෝ නාට්‍ය කලාවට වඩා වෙනස් අර්ථකතන කර තිබෙනවා. ඇත්තටම රේඩියෝ නාට්‍ය පරිපූර්ණ කලාවක්ද ?
රේඩියෝ නාට්‍ය කලාව අනෙක් සාහිත්‍ය කලා වගේම මේ වන විට විශාල පරිවර්තනයකට ලක්වෙලා. උදාහරණයක් හැටියට නවකථාව කවිය, චිත‍්‍රය, සිනමාව, නාට්‍ය ගත්තත් එහෙමයි. ආරම්භක අවධියේ රේඩියෝ ආයතනයවල දෙබස් ආකාරයෙන් කථා කීමේ ආකෘතිය තමයි රේඩියෝ නාට්‍ය හැටියට හැ`දින්වුණේ. මේවයේදී සිද්ධ වුණේ පැරණි සම්භාව්‍ය නව කථා, කෙටි කථා, ජාතක කථා, ජන කථා උපමා කථා වගේ දේවල් දෙබස් හැටියට නාට්‍යානුසාරව කීම. ක‍්‍රමයෙන් එය පරිපූර්ණ කලාවක් වුණා. 1950 දශකය ගුවන්විදුලි නාට්‍ය කලාවේ නූතන අවධිය හැටියට සැලකෙනවා. එයට මූලික වූයේ සැමුවෙල් බෙකට්, ගයිල්ස් කූපර්, බැරී බර්මෙන්ජ්, මසී කොන්ක්‍රෙට්, රිස් ඇඩි‍්‍රයන්, ෆෙඩි‍්‍රක් බර්ඞ්නම්, හැරල්ඞ් පින්ටර්, ජේම්ස් සුන්ඩර්ස්, ජෝ ඕටර්න්, ටොම් ස්ටොපාර්ඞ් ආදී වගේ නිර්මාණකරුවෝ. සමකාලීන වූ සාම්ප‍්‍රදායික රේඩියෝ නාටක ආඛ්‍යාන බිඳදමා නවමු රේඩියෝ නාට්‍යය රචනා සංස්කෘතියක් ගොඩනැගීමට මොවුන් පුරෝගාමී වුණා.
රේඩියෝ නාට්‍ය කලාව තුළ මගේ භාවිතාව වෙනස් වෙන්න බලපාපු කාරණයක් වුණේ සුගතපාල ද සිල්වා. 1995 මම මගේ නාට්‍ය අත්පිටපත් කිහියක් ඔහුට දුන්නා. ඒ වෙලාවෙදි මෙන්න මෙහෙම කිව්වා. ඉලන්දාරියා රේඩියෝ නාට්‍ය කලාව ඇතුලේ විශාල පරිකල්පන අවකාශයක් තියෙනවා. ඔහු කෙටි කතා, ඉතිහාස කතා, උපමා කතා හෝ වෙනත් ආකාරයක හුදු කතා ප‍්‍රවෘත්ති දෙබස් ආකාරයෙන් රචනා කිරීම රේඩියෝ නාට්‍යය කලාවේ ආරම්භක ස්වරූපයක්. සුගතපාල ද සිල්වා දැක්වූ විවේචනය මගේ රේඩියෝ නාට්‍යය කලාවම හැරවුම් ලක්ෂයක් ගත්තා. රේඩියෝ නාට්‍යය රචකයෙකු ලෙස 1995 සිට මම සකී‍්‍රයව ක‍්‍රියාකරන අතර තිලක් ජයරත්න, ජේ එච් ජයවර්ධන, ධර්ම ශ‍්‍රී මුණසිංහ ආදී රේඩියෝ නාට්‍යය කලාවේ ප‍්‍රබලයන්ගේ ගුරුහරුකම් හා ආභාසය මට නාට්‍යය රචකයෙකු ලෙස ලැබී තිබෙනවා.
රේඩියෝ නාට්‍යය කෙටි කතා මෙන් කියවා රස විඳිමේ සාහිත්‍යයක් හා සංස්කෘතියක් ලොව පවතිනවා. මවිසින් පළ කරන ලද කෘති සඳහා විශාල ශාවක හා පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් ලැබුණා. ඇසි දිසි මාධ්‍යයන්ගෙන් නිෂ්පාදනය වන කලාංගයක් නැවත සාහිත්‍ය කෘති ලෙස මුද්‍රණය වී පාඨකයා අතට සංසරණය වීමේ සංස්කෘතිය යුරෝපීය රටවල බහුලව දකින්න පුළුවන්. රේඩියෝ නාට්‍යය පිටපත් ද කියවා කෙටි කතාවක් කියවීමෙන් ලබන්නා වූ පරිකල්පනීය අවකාශයම පාඨකයෙකුට හිමි වෙනවා. රේඩියෝ නාට්‍යය සාහිත්‍යය යනු කෙටි කතා, නව කතාවෙන් ඔබ්බට සාහිත්‍යංගයන්හි ඇති වූ නව මාධ්‍යමය දිගුවයි. ලොව නිෂ්පාදනය වූ රේඩියෝ නාට්‍යය කෘති ග‍්‍රන්ථලෙස නැවත මුද්‍රණයෙන්ද පාඨකයා අතරේ ගමන් කරනවා. බීබීසී ආයතනයේ අවුරුද්දකට වරක් ප‍්‍රචාරය වන නාට්‍යය එකතු කොට සංග‍්‍රහයක් ලෙස පළ කිරීම සම්ප‍්‍රදායයක්්. මෙම සම්ප‍්‍රදාය අනුගමනය කිරීමට ගත් උත්සාහයක් ලෙස කලෙක 1970 දශකයේ ලාංකීය ගුවන් විදුලියේ තරංගනී සඟරාව තුළ යම් යම් නාට්‍යය පිටපත් පළ කිරීම දැකිය හැකි වුණත් එය අඛණ්ඩව කි‍්‍රයාත්මක වුණේනෑ. ඒත් බී.බී.සී මගින් ප‍්‍රචාරය වන සෑම රේඩියෝ නාට්‍යයක්ම පාහේ අද දක්වා රීඩින් ආකයිව්ස් ඉන් කූවෂාම් හි සංරක්ෂණය කෙරෙනවා.
අපට මුලින්ම රේඩියෝ නාට්‍යය සංස්කෘතිය හිමිවන්නේ එකදහස් නවසිය විසිපහ තරම් ඈතකදී. ධර්ම ශ‍්‍රී මුණසිංහ, ජේ. එච්. ජයවර්ධන මා සමග කළ සම්මුඛ සාකච්ඡුාවකදී දැක්වූ ආකාරයට ආරම්භක යුගයේ නාට්‍යය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන්. නාට්‍ය පුහුණු වන ලද්දේ රචකයාගේ නිවසේ. මෙම නාට්‍යය බහුතරයක් බී බී සී ආයතනය විසින් නිෂ්පාදනය කළ නාට්‍යයන්හි සිංහල පරිවර්තන හෝ අනුවර්තන. උදාහරණ ලෙසට ජෝර්ජ් බර්නාඞ්ෂෝගේ ද ඩොක්ටර් ඩයිලේමා නාට්‍යය වෙදහටන ලෙසත්, ගීද මෝපසාන්ගේ නෙක්ලස් දියමන්ති මාලය ලෙසත්, ඇනටොල් ෆ්‍රොන්ස්ගේ ද මෑන් හූ මැරීඞ් ඩම්බ් වයිෆ් නාට්‍යය ගොළු බිරිඳ ලෙසත් නිෂ්පාදනය වූ ඉතිහාසය දැක්විය හැකියි. එමෙන්ම ආර්. එල්. ස්පිට්ල්, ලෙනාඞ් වුල්ෆ්, පියදාස සිරිසේන, ඩබ්. ඒ. සිල්වා, මාර්ටින් වික‍්‍රමසිංහ ආදී රචකයින්ගේ කෘති නාට්‍යය ලෙස අනුවර්තනය කොට ප‍්‍රචාරය වූ සංස්කෘතියක් අනෙක් පසින් හමු වෙනවා. එක් දහස් නවසිය හතලිහ දශකයේ ගුවන් විදුලියේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ ධර්ම ශ‍්‍රී මුණසිංහ විසින් ඉහත සන්දර්භයන්ගෙන් යුක්ත නාට්‍යයවලට දැඩි විවේචනයක් ගෙන ආවා. එනම් එම නාට්‍යයවල ලාංකීය සමාජය ස්පර්ශ කරන තේමාවන් හා වස්තු විෂයයන් නොමැති බව දක්වමින්. එයට ලැබුණු ප‍්‍රතිචාරය වූණේ එවකට ගුවන් විදුලියේ නාට්‍යය අංශයේ අයිලින් බ්ලයිට් සරත්චන්ද්‍ර නිෂ්පාදිකාව ධර්ම ශ‍්‍රී මුණසිංහට එම අභියෝගය ජයගනිමින් නාට්‍යය රචනයට ආරාධනා කිරීම. ධර්ම ශ‍්‍රී ඇහැටුල්ලා නම් වූ නාට්‍යය රචනා කරමින් සිය නාට්‍යය දිවිය ආරම්භ කරන අතර පසුකාලීනව මුවන් පැලැස්ස, ගජමුතු, මොණර තැන්න, මේධා, ආදරණීය ජුලියස්, මුදලි මංකඩ ආදී නාට්‍යය රැුසක් රචනා කරමින් ලාංකීය රේඩියෝ නාට්‍යය කලාවේ පදනම ශක්තිමත් කළා. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාවේ සමකාලීනව මෙවන් පරිඥානයෙන් සමන්විත වූ රචකයෝ ශ‍්‍රාවකයින්ගේ පරිකල්පනය විනිවිඳීමට සමත වුණා. එදිරිවීර සරත්චන්ද්‍ර, ඒ. පී. ගුණරත්න, ටී. ජී. ඩබ්. ද සිල්වා, පී. කේ. ඞී. සෙනෙවිරත්න, ටී. ද. එස්. ලීලානන්ද, පී. වැලිකල, මුදලිනායක සෝමරත්න, වික්ටර් මිගෙල්, ආනන්ද සිරිසේන, ගැමුණු විජේසූරිය, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, ධර්මසේන පතිරාජ, තිලක් ජයරත්න, ඒ. ඞී. විජේදාස, ඇල්ෆ‍්‍රඞ් පෙරේරා, ජී. ජී. ගුණවර්ධන, පියසීලී විජේනායක, කේ. එම්. අයි. ස්වර්ණසිංහ, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, එම රචකයින්ගෙන් සුළුතරයක්. පනහ දශකයේදී ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව තිබුණේ තවමත් දණ ගාන අවධියක බව පී. වැලිකල සිය රේඩියෝ නාට්‍යය කලාව කෘතිය තුළ විවේචනයට ලක් කළා. මේ බව සනාථකරමින් රාජ්‍ය ගුවන් විදුලියේ ප‍්‍රගතිය සහ අනාගත සැලසුම් අරමුණු කොටගෙන නෝමන් එඞ්වඞ් වීරසූරියගේ සභාපතිත්වය හා ඒ. එම්. එම්. සහාඞීන්ගේ ලේකම් ධුරය මත එක්දහස් නවසිය පනස් තුනේ ක‍්‍රියාත්මක වූ රිපෝට් ඔෆ් ද කමිෂන් ඔන් බ්‍රෝඞ්කාස්ටින් යටතේ එකල රේඩියෝ නාට්‍යයේ ස්වභාවය සම්බන්ධ තියුණු විශ්ලේෂණයක් හමු වෙනවා. සමකාලීන සිංහල නාට්‍යයවල දැකිය හැක්කේ බටහිර නාට්‍ය හෝ කෙටි කතා අනුසාරයෙන් සිංහල නම් ගම් යෙ නාට්‍යය ප‍්‍රයුංජනයයි. මේවායේ බහුතරයක් අන්තර්ගතව ඇත්තේ ග‍්‍රාම්‍ය විහිළු හා දෙබස් ඛණ්ඩ වන අතර කාමුක අශ්ලීල යෙදුම් බව දැක්වෙනවා. සමකාලීන ගුවන් විදුලිය තුළ නාට්‍යය පිටපතක ගුණාත්මක බව මැනීමට සුදුසුකම් ලත් නිලධාරීන්ගේ හිඟයක් වුණා. නාට්‍යය නිෂ්පාදනය කරන නිලධාරීන් හා සහයකයින් රටේ බාහිර නිර්මාණාත්මක දක්ෂතා ඇති රචකයින් ඈ`දා ගැනීම වෙනුවට අධිකාරිත්වයක් හිමි පිරිසකට අවකාශය සැකසීම ගැටලූ වුණා. සමකාලීන නාට්‍යවල රංගනයේ නියුතු බහුතර ශිල්පීන්ද කොළඹ ආශ‍්‍රිත පදිංචිකරුවන් වන අතර චරිත ලබා දීමේ තීරණයද නිෂ්පාදකවරුන්ගේ මනාපය අනුව සිදුවුණා. මෙම බොහෝ රංගන ශිල්පීන්ට සිංහල බස සම්බන්ධ දැනුම මෙන්ම දේශීය සංස්කෘතික අත්දැකීම් ද විරළ නිසා රංගනය කෘත‍්‍රිම ස්වභාවයක් ගත් බවට විවේචනයක් තිබුණා. එය ගැමි චරිත රංගනයේදී මනාව ඉස්මතු වුණා. එමෙන්ම නාට්‍යය අංශය වෙත පිටතින් පිටපත් ලැබෙන විට කරනුයේ දුර්වල හා ආධුනික රංගන ශිල්පීන් දමා නිෂ්පාදනය බාළ කිරීමේ සංස්කෘතිය බව කොමිෂන් වාර්තාව දක්වනවා. සමකාලීන රේඩියෝ නාට්‍යයේ වෙනස් වීම සම්බන්ධව ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂව සිටි ස්ටුවර්ට් වේවල් එක් දහස් නවසිය හැට නවයේදී රචිත ගුවන් විදුලි ශිල්පය කෘතිය තුළද කරුණු රැුසක් සොයාගන්න පුළුවන්. ඔහුගේ ප‍්‍රධාන තර්කනය වන්නේ තමා හඳුනන සමාජය ස්පර්ශ කරන අත්දැකීම් මත ගොඩ නැගුණු කතාවක් නිර්මාණය කිරීමට නාට්‍යය රචකයින් උත්සාහ කළ යුතු බවයි. ස්වීය නාට්‍යය කලාවක් මෙරට ස්ථාපිත කිරීම සඳහා එය හොඳ තර්කනයක්. එහෙත් නාට්‍යය රචනය සම්බන්ධයෙන් ස්ටුවර්ට් වේවල් දක්වන ක‍්‍රමවේදයන් තුළ එවන් සංස්කෘතියක් ගොඩනැගිය හැකිද යන්න ගැටලූවක්. කතාවේ කවර අන්දමේ ගැටීමක් ඇති කළ යුතුද, අවසානයේ විසඳීම හෝ විනාශය සිදුවන අන්දමත් වෙන් කර ගත යුතුය. ඊළඟ කාර්යය එම සිද්ධීන්වල පසුබිම, ඒවා සිදුවන ස්ථානය තීරණය කිරීමයි. නාට්‍යය රචනයේදී එක් ජවනිකාවක් අවසානයේදී ඊළඟ ජවනිකාවට අසන්නන් සූදානම් කරන ඉඟියක් යෙදීමද රචකයා විසින් සිහියේ තබාගත යුතු කරුණලෙස දක්වනවා. එලෙස ස්ටුවර්ට් වේවල් දක්වා ඇති ක‍්‍රමවේදයන් නාට්‍යය රචනය හා සම්බන්ධ සාම්ප‍්‍රදායික විධික‍්‍රමය ලෙස මම නාමකරණය කරනවා. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව නව මානයන් ඔස්සේ සංවර්ධනය නොවුණේ මෙවන් ආචාර ධර්මයන්ට අනුකූලව රචකයන් හා නිෂ්පාදකයන් ආකෘතිගත නිර්මාණ බිහි කිරීමට දැරූ යාන්ත‍්‍රණය නිසයි. නව කලා සංස්කෘතියක් ගොඩ නැගිය හැක්කේ සෑම විටම පවතින සම්ප‍්‍රදායන් වෙනස් කරමින් සමකාලීන හෙවත් කන්ටෙම්පරරි තේමා සංකල්ප, ආඛ්‍යාන, ආකෘති ස්පර්ශ කළ විට පමණයි. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව තුළ බහුතරයක් අපට හමුවන්නේ සම්ප‍්‍රදායික ආකෘති ප‍්‍රතිජනනය කිරීමයි. වර්තමානයේද එම තත්වය රේඩියෝ නාට්‍යය තුළ හඳුනාගත හැකියි. ලෝකෙ මීට වඩා ගොඩක් ඈතට ගිහිල්ලා. සකලවිධ කලාවම තියෙන්නෙ කන්ටෙම්පරරි තත්ත්වයක. මේ කන්ටෙම්පරරි තත්ත්වයත් එක්ක මමත් මගේ රේඩියෝ නාට්‍ය කලාව භාවිතා කරනවා.

CD Cover 01

DSCN1825

204A4604

 

4 comments

  1. ‘කනට පහරක්’ අති විශිෂ්ට ගණයේ රේඩියෝ කතා මාලාවකි. ඉතාමත් හොද රසාස්වාදයක් ලබා ගත් අතර මිතුරන් අතරේ ද හුවමාරු කර ගත්ත්මි. අන් අයට ඇසීමටද අවස්ථාව ලබා උන්නෙමි. සියල්ලන්ගෙන්ම ඉතා හොද ප්‍රතිචාර ලැබුණි. ඔබගේ මෙම සත් කාර්යයට මගේ හද පිරි ස්තූතිය සහ ප්‍රරණාමය පුදකර සිටිමි. මෙවන් වූ හරවත් දේ සමජගත කිරීමට පුලුල් මවතක් අවැසි වේ. රංගිරි ගුවන් විදුලිය මෙවන් වු නිර්මාණ වලට අවස්ථාව සලසා දෙන බව මා නොයෙකුත් අවස්ථාවල දැක තිබේ. දින පතා තමන්ගේ වාහනයකින් ගමන් බිමන් යන උදවියට මෙය ලබා දිය හැකිනම් ප්‍රයොජනවත් ලෙස බාවිතා කල හැක.
    තව තවත් මෙවන් සමජ විමර්ශණ මට්ටමේ නිර්මාණ කිරීමට හැකිවේවායි පතමි. ඔබට ජය!

Leave a Reply